Latestදේශීය

හොදටම ලාභ ලබන ටෙලිකොම් එකත් විකුණන්නයි හදන්නේ – නාලක ගොඩහේවා

පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම පසෙක ලා රජය ලාබ ලබන ආයතන විකිණීමේ මගඩියකට සූදානම් වෙන බව හිටපු ජනමාධ්‍ය ඇමති ආචාර්ය නාලක ගොඩහේවා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කලේ මාධ්‍ය හමුවක් අමතමිනි.

” මේ වෙලාවේ මේ රටේ තියෙන ආර්ථික අර්බූදය හැමෝටම දැනෙන නිසා වෙනදාට වඩා ජනතාව රටේ ප්‍රශ්ණ ගැන දැනුවත්. මේ අර්බූධයෙන් ගොඩ එන්නට නම් රජය අදායම වැඩිකරගත යුතු බවත් වියදම අඩුකරගත යුතු බවත් හැමෝටම තේරෙනවා. ආදායම ගැන කතා කරනකොට අපි දන්නවා රාජ්‍ය ආදායමෙන් 88% ක්ම බදු ආදායම වන අතර රාජ්‍ය ආයතන 400 ගනනක් තිබිලත් විශාල සම්පත් ප්‍රමාණයක් තිබිලත් ඒ ආයතන වලින් එන සමස්ථ ආදායම ඉතා සුළු ප්‍රමාණයක්. ඒකට හේතුව තමයි සමහර ආයතන ලාබ ලබද්දී බොහෝ ආයතන පාඩු ලැබීම. ඒ අතරින් ශ්‍රී ලංකන් ගුවන් සේවය, විදුලි බල මන්ඩලය, ඛණිජ තෙල් නීතිගත සංස්ථාව, ජල සම්පාදක මන්ඩලය යන ආයතන කිහිපයේ පමනක් මේ වසරේ පාඩුව රාජ්‍ය ආදායමට වඩා වැඩි වෙනවා. තවත් පාඩු ලබන විශාල ආයතන ගනනාවක් තිබෙනවා. ඉතින් මේ පාඩු ලබන ආයතන කඩිනමින් ප්‍රතිව්‍යුහ ගත කල යුතු බවට අද රටේ බොහෝ දෙනෙක් එකඟ වෙනවා. අපි බලාපොරොත්තු වුනා මේ ආයතන ප්‍රතිව්‍යුහ ගත කිරීම ආන්ඩුව කඩිනමින් ආරම්භ කරාවී කීයලා. නමුත් ඒ වෙනුවට අපිට පේන්නේ ආන්ඩුව වෙනත් දෙයක් කරන්න සූදානම් වෙන බවයි. දැන් ආන්ඩුව කතාකරන්නේ පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහ ගත කිරීම ගැන නෙමෙයි ලාබ ලබන ආයතන විකිනීම ගැනයි. ලාබ ලබන ආයතන පෞද්ගලීකරණය කිරීමයි පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමයි කියන්නේ සම්පූර්නයෙන්ම වෙනස් අරමුණු දෙකක්. ජනාධිපතිතුමා විශේෂයෙන්ම සඳහන් කරලා තිබුනා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ගැන හා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පෞද්ගලීකරණය කිරීම ගැන. අපි පුදුමයට පත් වුනා.මොකද මේ දෙකම හොඳින් ලාබ ලබන ආයතන. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය කොළඹ කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත ලාබ ලබන ආයතනයක්. එහි 49.5% කොටස් රජයට අයිතියි. සේවක අර්ථසාදක අරමුදල , ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල වැනි රජයට අනුබද්ධ ආයතන හරහා 50 කට වැඩි කොටස් රජයට තියෙනවා.

අපි දන්නවා මේ වන විට විදුලි සංදේශණ පහසුකම් වලින් අපි දකුණු ආසියාවේ ඉදිරියෙන්ම ඉන්නා රටක්. රට පුරා ෆයිබර් නෙට්වර්ක් එලමින් තොරතුරු තාක්ෂණ පහසුකම් ඉහල තලයකට ගෙන එන්නට මේ ආයතනය විශාල සේවාවක් කොට තිබෙනවා. එය යටතේ තිබෙන මොබිටෙල් ආයතනයත් හොඳින් ලාබ ලබන ආයතනයක්. ඉතින් මොකටද මේ ආයතන විකුණන්නේ ? ඊලඟට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව කියන්නේ මහා භාන්ඩාගාරයට 100% අයිති ලාබ ලබන රාජ්‍ය ආයතනයක්. මේ අයතනය මීට පෙර වතාවක් චන්ද්‍රිකා බන්ඩාරණායක ජනාධිපතිතුමියගේ කාලේ පෞද්ගලීකරණ‍ය කරලා තිබිලා 2009 ශේෂ්ඨාධිකරණ තීන්දුවකින් යලි රජයට පවාරාගත්තේ. ඒ නඩුවේදී හෙලි වුනා ආයතන විකිණීමේදී විශාල අක්‍රමිකතා වෙලා තිබෙනවා කියලා. ඒ වෙලාවේ රුපියල් බිලියන 30 කට වඩා වත්කම් තිබුන ආයතනය විකුණලා තිබුනේ රුපියල් බිලියන 6 ක් වගේ සුළු මුදලකට. මේ දූෂිත ගනුදෙනුව තමයි ශ්‍රේෂ්ඨාධිකරණය ආපසු හැරවූවේ. ඒ වසරේදීම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් තවත් දූෂිත පුද්ගලීකරන ගනුදෙනු දෙකක් අවලංගු කලා. ඒ වෝටර්ස් එජ් පෞද්ගලීකරණය හා ලංකා මැරයින් සර්විසර්ස් පෞද්ගලීකරණ ගනුදෙනුව. මේ වගේ කුප්‍රකට ඉතිහාසයක් තමයි ලංකාවේ රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලීකරණය සම්බන්ධයෙන් තියෙන්නෙ.

1990 හා 2003 කාලයේ ප්‍රේමදාස ජනාධිපතිතුමා හා චන්ද්‍රිකා ජනාධිපතිතුමිය යටතේ රාජය ආයතන 94 ක් පෞද්ගලික අංශයට විකුනනු ලැබුවා. මේ ගනුදෙනු හරහා බොහෝ විට සිද්ධ වුනේ ඥාති මිත්‍ර සංග්‍රහයයි. සමහර ගනුදෙනු අන්තිම දූෂිතයි. බොහෝ ආයතනවල තිබෙනා වටිනා සම්පත් ගැන නිසි තක්සේරුවකින් තොරව පොත්වල තියෙන අගයට විකුනපු නිසා ඒවා මිලදී ගත් අය අධික ලාබ ලැබුවා. එක් වතු සමාගමක් මිළදී ගත් ගැනුම් කරු පැය 24 ක් ඇතුලත ගත් මිල වගේ දෙගුනයකට ඒ සමාගම විකුනා 100% ක ලාබයක් ගත් බව වාර්ථා උනා. තවත් ආහාර වලට සම්බන්ධ සමාගමක අළුත් අයිතිකරුවන් පැමිණි විට බැංකුවේ හා සේප්පු වල තිබුණ මුදල් ගෙවූ මුදල් වලට වඩා වැඩි බව වාර්ථා උනා. බොහෝ ආයතන මිළදී ගත් අය කලේ ආයතනය දියුණු කරනවා වෙනුවට ඒවායේ තිබූ යන්ත්‍රෝපකරණ හා දේපල විකුණා කෙටි කලක් තුල අධික ලාබ ලැබීමයි. ඉතින් මේක තමයි වෙන්නෙ ලාබ ලබන ආයතන පෞද්ගලීකරණය මුවාවෙන් . ඒ නිසා අපි තදින්ම විරුද්ධයි ජනවරමක් නැති වත්මන් පාලනය මේ ආකාරයට ලාබ ලබන රාජ්‍ය ආයතන විකිණීමට සූදානම් වීම සම්බන්ධයෙන්. අපි විශ්වාස කරනවා මේ සූදානම්වන්නේ විශාල මගඩියකට කියා.

ලාභ ලබන ආයතනයක් විකිණීම නිසා රජයට එකවර මුදලක් ලැබුනත් රටට එම ආයතනය හරහා දීර්ඝ කාලීන ලාබයක් ලබා ගැනීමට ඇති අවස්ථාව නැතිවෙනවා. ඒ ලබා ගන්නා මුදල දීර්ඝ කාලීන ප්‍රතිලාබ ලබා ගත හැකි ආයෝජනයක නොයොදා පරිභෝජනයට ගත්තොත් එය අනාගත පරපුරට කරන විශාල වරදක්. මෙය ඕනෑ ත‍රම් අපේ රටේ සිදු වී තිබෙනවා. උදාහරණයකට හම්බන්තොට වරාය චීනයට අවුරුදු 200 කට පවරා දීම ගන්න. මේ ගනුදෙනුවෙන් ශ්‍රී ලංකා රජයට ඩොලර් මිලියන් 900 ක් ලැබුණා . මොනවාද ඒ මුදල් වලට උනේ. ඒ මුදල් රජයේ සංචිතවලට එකතු උනේත් නෑ. වෙනත් සංවර්ධන කටයුත්තක ආයෝජනය උනේත් නෑ. කිසිම තැනක වාර්ථාවක් නෑ අදටත්. මෙවැනි ගනුදෙනු කල අයම තමයි දැන් මේ ආයෙත් ලාබ ලබන රාජ්‍ය ආයතන විකුණන්නට සුදානම් වන්නේ.

පාඩු ලබන රාජ්‍ය ආයතනයක් ප්‍රතිව්‍යුහ ගත කරනවා කියන්නෙ පෞද්ගලීක‍රණය කරනවා කීම නොවේ. එය කල හැකි ක්‍රම රාශියක් තිබෙනවා. සමහර විට ඒ ආයතනය කොටස් කිහිපයකට කඩා එක් එක් කොටසට වෙනත් ආකාරයේ විසඳුම් සොයන්නට පුලුවන්. සමහර කොටස් පෞද්ගලීකරණය කරන්න පුලුවන්, සමහර කොටස් රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාර බවට පත් වන්නට පුළුවන්. කල යුතු දේ ආයතනයෙන් ආයතනයට වෙනස් වෙන්න පුළුවන්. කෙසේ වෙතත් මේ අවස්ථාවේ රජය අවධානය යොමු කල යුත්තේ පාඩු ලබන ආයතන වලට මිස ලාභ ලබන රාජ්‍ය ආයතන වලට නොවනා බව අපි යලි අවධාරණය කරනවා ”

තවදුරටත් අදහස් දැක් වූ ආචාර්ය නාලක ගොඩහේවා ලාබ ලබන රාජය ආයතන විකිනීමේ සැලස්ම මිස රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට වෙනත් කිසිඳු සැලැස්මක් රජය ඉදිරිපත් කර නොතිබීම ගැන අප්‍රසාදය පල කලේය. ණය ගැටලුව මේ වසරට සීමා නොවන බවත් මේ වසරේ මෙන්ම ඉදිරි වසර කිහිපයකම වසරකට ඇමෙරිකානු ඩොලර් 5 කට වඩා ණය ගෙවන්නට තිබෙනා බව පෙන්වා දුන් ඔහු කියා සිටියේ මේ වසරේ ණය නොගෙවා සිටීමේන් ලැබෙන තාවකාලික සහනයෙන් මුලා නොවිය යුතු බවත් රජය විදේශ ආදායම් වැඩිකරගැනීමේ සැලස්මක් කඩිනමින් සකස් නොකලොත් ඉදිරි කාලය මීටත් වඩා දුෂ්කර වන බවත්ය.

– මාධ්‍ය ඒකකය

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?