Latestදේශීය

මහජන කවුන්සිලයේ විරෝධතාවය කළුතර ප්‍රදේශ ගණනාවක

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බළමණ්ඩලය රටපුරා දියත්කළ විරෝධතා ව්‍යාපාරයට සමගාමීව කළුතර දිස්ත්‍රික් මහජන කවුන්සිලය ඊයේ (09) කළුතර ප්‍රදේශ ගණනාවක විරෝධතාවයන් හී නිරථ වුනා.

පෙ.ව. 9.00ට කළුතර නගරයෙන් ආරම්භ වූ මෙම විරෝධතාවය අනතුරුව වාද්දුව, පානදුර, බන්ඩාරගම, හොරණ සහ මතුගම නගරවලදී පැවැත්වුනා.

යතුරුපැදි සහ වාහන රථ පෙලක් සමගින් දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර ගණනාවක් ආවරණය කරමින් පැවති මෙම විරෝධතා ව්‍යාපාරයට සාමාන්‍ය ජනතාව ද එක්ව සිටියා.

කළුතර මහජන කවුන්සිලයේ කැදවුම්කරු ආනන්ද වීරසිංහ මහතා මෙහිදී අදහස් දක්වමින් පැවසුවේ වත්මන් පාලකයින් අධික බදු බර ජනතාව මත පටවමින් ජනතාවගෙන් පලිගනිමින් සිටින බවයි. තවද පාසැල් අධ්‍යාපනය සදහා අවශ්‍ය අභ්‍යාස පොත් මිළදී ගැනීමට අධික පිරිවැයක් දරන්නට සිදුව ඇති වටපිටාවක දරුවන් පාසැල් වලින් ඈත් වෙමින් සිටින බව පැවසූ වීරසිංහ මහතා එම හේතුවෙන් අනාගතයේ නිර්මාණය වන්නට නියමිත සමාජ අර්බුධයන් සදහා ආන්ඩුවට කිසිදු අදහසක් නැති බව පවසන ලදි.

දිනෙන් දින ඉහළ යන බඩු මිළ හමුවේ වේලක් කන්නවත් බැරි බහුතර ජනතාවට මර්ධනය දියත් කිරීම හැර වෙනත් විකල්පයක් රනිල් රාජපක්ෂ ආන්ඩුව ක්‍රියාත්මක නොකරන බව පැවසූ ආනන්ද වීරසිංහ මහතා අන් කවරදාටත් වඩා වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන්ගේ වටිනාකම සමාජයට ඒත්තු යමින් සිටින බවද පැවසුවා.

අනීතිකව අත්අඩංගුවට ගෙන රදවා සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බළමණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ වගේම භික්ෂු බළමණ්ඩලයේ කැදවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කර ගැනීම වෙනුවෙන් උපරිමයෙන් මැදිහත් වන බව පැවසූ ආනන්ද වීරසිංහ මහතා කළුරත මහජන කවුන්සිලය ඉදිරි ක්‍රියාමාර්ග තෝරනුයේ සමස්ත රටවැසියන්ට ඇත්ත අයිතිය ලැබෙන වටපිටාවක් නිර්මාණය කරගැනීම වෙනුවෙන් බව අවධාරණය කළා.

මෙම විරෝධතා මාලාවේදී වීදි නාට්‍ය හරහා ජනතාව දැනුවත් කිරීමටද කළුතර මහජන කවුන්සිලය කටයුතු සංවිධානය කර තිබුනා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?