Latestදේශීය

අපි ජාත්‍යන්තර මූල්‍ය විශ්වාසය තහවුරු කළා – රංජිත් සියඹලාපිටිය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහය ලබාදීමට ගත් තීරණයත් සමග ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් මූල්‍ය විශ්වාසය තහවුරු කර ගත් රටක් බවට පත් වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය අනුමත වීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් (21) ඒ මහතා මේ බව පැවසීය.

ඔහු පෙන්වා දෙන්නේ මෙම විශ්වාසය දිනා ගැනීම සඳහා සිදු කළ ජාත්‍යන්තර ආර්ථික මෙහෙයුම වෙනුවෙන් ජනාධිපතිවරයාට ස්තුතිය පළ කළ යුතු බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දුන් එකඟත්වයත් සමඟ ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව මගින් තවත් ඩොලර් බිලියන 7ක පමණ මුදලක් ලබා දීමට සූදානමින් සිටින බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දුන් මෙම ණය පහසුකම සමග ඔවුන් සමඟ ඇති කර ගත් එකඟතා රැක ගැනීම රජයේ වගකීම බව හෙතෙම පෙන්වා දෙයි.

දිළඳු ජනතාව ආරක්ෂා කර ගැනීම, බැංකු පද්ධතිය ස්ථාවරව පවත්වාගෙන යාම, මූල්‍ය විනය සහ බදු ප්‍රතිපත්තීන් ආරක්ෂා කිරීම එම එකඟතා බවත්, රටක් ලෙස ඉටු කළ යුතු වගකීම් බව අමාත්‍යවරයා සඳහන් කරයි. ඉදිරි දින කිහිපය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන ණය කොටසේ පළමු වාරිකය ලෙස ඩොලර් මිලියන 300කට අධික මුදලක් ලැබීමට නියමිත ය. එම මුදල මහ බැංකුවේ ඩොලර් ගිණුම වෙත ලැබීමෙන් අනතුරුව භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයාගේ ගිණුම වෙත බැර වෙයි.

එම මුදල් මගින් අයවැය හිඟය පියවා ගැනීමට ද හැකිවීම විශේෂත්වයක් බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?