Latestදේශීය

නීතිවිරෝධී සංක්‍රමණයේ හමුදා නිළධාරින් අත්අඩංගුවට

නීතිවිරෝධි අයුරින් ඔස්ට්‍රේලියාවට බෝට්ටුවක් මාර්ගයෙන් පුද්ගලයින් යැවීම සඳහා රුපියල් ලක්ෂ 70ක් ලබාගත් යුද හමුදා ලාන්ස් කෝප්‍රල්වරයෙකු සහ නාවික හමුදා සෙබළෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය විසිනි.

ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අදාළ කොට්ඨාසය වෙත කැඳවූ අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

ත්‍රිකුණාමලය, සාම්පූර් ප්‍රදේශයෙන් පසුගිය දෙසැම්බර් මස 04 වනදා පුද්ගලයින් 25දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඔස්ට්‍රේලියාව බලා යෑමට බෝට්ටුවකින් දියඹට ගොස් තිබුණි.

එහෙත් එම අවස්ථාවේදී ක්‍රියාත්මකවූ නාවික හමුදාව විසින් ඔවුන්ව අත්අඩංගුවට ගෙන විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාරදුනි.

ඒ අනුව එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමරකෝන් බණ්ඩා මහතාගේ අධීක්ෂණය යටතේ සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, සාම්පූර් ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් විසින් මෙම මිනිස් ජාවාරම සිදුකර ඇති බවය.

අනතුරුව ඊට සම්බන්ධ පුද්ගලයන් 20ක් පමණ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඔවුන්, එක් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 5 සිට 15 දක්වා මුදලක් ලබාගෙන ඇති බවත් ඒ අනුව අදාළ බෝට්ටුවේ ගමන් කිරීමට උත්සාහ කළ පිරිසෙන් රුපියල් කෝටි තුනහමාරක් පමණ ලබාගත් බවත් එම පිරිසෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇති බව වාර්තා වෙයි.

තවදුරටත් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ, මෙම මිනිස් ජාවාරමට නාවික හමුදා සෙබෙළෙකු හා යුද හමුදාවේ ලාන්ස්කෝප්‍රල්වරයෙකුගේ ද සහාය හිමිවී ඇති බවය.

ඒ අතරින් යුද හමුදා ලාන්කෝප්‍රල්වරයා ජාවාරම්කරුවන්ගෙන් රුපියල් ලක්ෂ 70ක් ලබාගෙන ඉන් රුපියල් ලක්ෂ 10ක මුදලක් නාවික හමුදා සෙබළා වෙත ලබාදී තිබේ.

ඒ අනුව නාවික හමුදා සෙබළා විසින් ජාවාරම්කරුවන්ට බෝට්ටුවක් ද සපයාදී, එම බෝට්ටුව මඟින් යාත්‍රා කරද්දී  අත්අඩංගුවට නොගන්නා බවට ද ප්‍රකාශ කර ඇති බව වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදා සෙබළා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එළඹෙන 21 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර යුද හමුදා ලාන්ස්කෝප්‍රල්වරයා අද (15) දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?