Latestදේශීය

විදේශ රැකියා වංචාවක් – සැකකාරියක් අත්අඩංගුවට

පෝලන්තයේ හා මැලේසියාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් එක් කෝටි තිස් ලක්ෂයකට අධික මුදලක් වංචාකිරිම හේතුවෙන් අධිකරණය මගින් විදේශ ගමන් තහනමක් පනවා තිබූ කාන්තාවක්, විදේශ රටක සිට යළි දිවයිනට පැමිණීමේදී කටුනායක ගුවන් තොටුපොලේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් පසුගිය දා ( 29 දින) අත්අඩංගුවට ගෙන ඇත.

කොළඹ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි රත්නායක මුදියන්සේලාගේ ශ්‍යාමලි නම් සැකකාරිය විසින් 2021 වසරේ සිට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි කර රෝයල් ඩ්‍රිම් ඉන්ටර්නැෂනල් (Royal Dream International) නමින් විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන ගොස් ඇති අතර, මේ වන විට එහි වලංගු කාලසීමාව ඉක්මවා තිබුණද, යළි බලපත්‍රය අලුත්කර ගැනීම සඳහා කටයුතු කර නොමැත.

එම ආයතනය මගින් විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් මුදල් අයකර පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් බවට කාර්යාංශය වෙත පැමිණිලි 53ක් ලැබී ඇති අතර, ඒ අනුව කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් මෙම කාන්තාව අත්අඩංගුවට ගැනීමට උත්සහ කළද, ඇය විමර්ශන නිළධාරීන් මගහැර සැගව සිටීම හේතුවෙන් 2023.05.31 දින අධිකරණය මගින් ඇයට විදේශ ගමන් තහනමක් පනවා ඇත.

සැකකාරිය කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2023 ජූලි මස 4 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

මෙවැනි විදේශ රැකියා ජාවාරම්කරුවන් හෝ වංචනික ආයතන පිළිබඳව තොරතුරු දන්නේ නම් කාර්යාංශයේ ක්ෂණික ඇමතුම් අංකය වන 1989 ඇමතීම මගින් හෝ කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ දුරකථන අංකය වන 0112864241 අංකය ඇමතීම මගින් කාර්යාංශය වෙත දැනුම් දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?