ගෙල කපා පොලිස් පෙම්වතිය ඝාතනය කළ හිටපු පී සී පෝරකයට
පොලිස් කොස්තාපල්වරියක වූ සිය තරුණ පෙම්වතියගේ ගෙල කපා අමානුෂික ලෙස ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු කළ පොලිස් කොස්තාපල්වරයකු ලෙස සේවය කළ විත්තිකරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා මරණීය දණ්ඩනය නියම කළේය.
විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් ගොනු කර ඇති චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පුකොට ඇති බවත් මරණකාරියගේ ශරීරයේ තිබූ බරපතළ කැපුම් තුවාල ඇතුළු කැපුම් තුවාල 47කට අධික ප්‍රමාණය අනුව විත්තිකරු එකී ඝාතනය හිතාමතාම හා සැලසුම් සහිතව සිදු කළ බවට සනාථ වන බවත් පෙන්වා දුන් විනිසුරුවරයා එම දඬුවම නියම කළේය.
විත්තිය වෙනුවෙන් අධිකරණයේදී සාක්‍ෂි දීමෙන් අනතුරුව වසර ගණනාවක් තිස්සේ අධිකරණය මගහැර සිටින විත්තිකරු අත්අඩංගුවට ගැනීමට ද මහාධිකරණ විනිසුරුවරයා වරෙන්තු නිකුත් කළේය.
මෙයට වසර 12කට පමණ පෙර එනම් 2013.01.07 වැනිදා කොළඹ පිටකොටුව ලෝටස් පාරේ ලංකා ටෙලිකොම් ආයතනය ඉදිරිපිට පිහිටි ගුවන් පාලම මතදී හේරත් මුදියන්සේලාගේ නදිශානි මධුභාෂිකා සමරසිංහ නමැති 23 හැවිරිදි තරුණිය ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ ජයසිංහ මුදියන්සේලාගේ නිලන්ත පුෂ්පකුමාර නමැති විත්තිකරුට එලෙස මරණීය දණ්ඩනය නියම කෙරිණි. එවකට කොළඹ ප්‍රදේශයේ පිහිටි පොලිස් ස්ථානයකට අනුයුක්තව සේවය කළ මරණකාරිය එම ගුවන් පාලම මතින් ගමන් කරන බවට දන්නා විත්තිකරු එදින ගුවන් පාලම මත සිට පෙරවරු 7.10ට පමණ ඇය හමුවූ අවස්ථාවේදී ඇති වූ බහින්බස් වීමකින් අනතුරුව සිය මල්ලේ සඟවාගෙන තිබූ මන්නා පිහියකින් ඇගේ ගෙල වෙන්වන ලෙස පිහි ප්‍රහාරයක් එල්ල කර තිබූ බවත් අනතුරුව ඇගේ මුහුණ පපුව ඇතුළු ශරීරයේ සියලු කොටස් කීතු කීතුවලට කපා තමන් සන්තකයේ තිබූ වස කුප්පියක් ගෙන ඇගේ මුවට හලා ඉතුරු කොටස පානය කොට තිබූ බවත් ඇසින් දුටු සාක්‍ෂි අනුව අනාවරණය වී තිබිණි. පිහිය පෙන්වා කිසිවකුටත් අසලට නොඑන ලෙසට තර්ජනය කර එකී අපරාධය සිදුකොට තිබූ බව ද එහිදී හෙළි විය.
එම විත්තිකරු සහ මරණකාරිය පොලිස් අභ්‍යාස විද්‍යාලයේදී එකට පුහුණුව ලබා 2009 වසරේදී කොස්ලන්ද පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටියදී ප්‍රේම සබඳතාවක් ඇති කරගෙන තිබූ බවත් මරණකාරිය රාජකාරි නිවාඩු ලබා බිබිල ප්‍රදේශයේ පිහිටි ඇගේ නිවසට යන අවස්ථාවලදී විත්තිකරු ද ඇය සමග එම නිවසට ගොස් ඇති බවත් සාක්‍ෂි විභාගයේදී අනාවරණය වී තිබිණි.
දෙපාර්ශ්වයේ වැඩිහිටියන්ගේ එකඟතාව ඇතිව විවාහවීමේ අරමුණින් එම සබඳතාව දිගටම පවත්වාගෙන ගොස් තිබූ බවත් විවාහයෙන් පසුව පදිංචිය සඳහා ඔවුන් දෙදෙනා එක්ව බිබිල ප්‍රදේශයෙන් පර්චස් 43ක ඉඩම් කොටසක් මිලදී ගෙන තිබූ බවත් දෙපාර්ශ්වයේ සාක්‍ෂි විභාගයේදී අනාවරණය වී තිබිණි.
කෙසේ නමුත් විවාහ පොරොන්දම් නොගැළපීම හා විත්තිකරු යහපත් චරිතයකින් යුත් පුද්ගලයකු නොවන බවට අනාවරණය වූ කරුණු මත එකී විවාහයට මරණකාරියගේ මව අකැමැත්ත දැක්වීම නිසා එකී අපරාධය සිදු කිරීමට දින කීපයකට පෙර විත්තිකරු මන්නා පිහියක් හා වස කුප්පියක් රැගෙන මරණකාරියගේ නිවසට ගොස් ඇගේ මවට යම් බලපෑමක් කළ බව ද අනාවරණය වී තිබිණි.
තමා මරණකාරියගේ නිවසට ගොස් ඇගේ මව සමග තමුන් දෙදෙනාගේ විවාහය පිළිබඳ කතාබහ කළ බව හා ගුවන් පාලම මතදී මරණකාරිය හමු වූ බව සත්‍යයක් වන නමුත් එහිදී ඇය පැවසූ වදන් නිසා ශෝකයට පත් තමා වස පානය කර සියදිවි හානිකර ගැනීමට උත්සාහ කළ බවත් මරණකාරියට එකී කැපුම් තුවාල සිදු වූ ආකාරය තමන් නොදන්නා බවත් විත්තිකරු සිය නීතිඥවරයාගේ මෙහෙයවීම යටතේ සාක්‍ෂි ලබාදී තිබිණි.
කෙසේ නමුත් විත්තිකරුගේ එකී ප්‍රකාශය දඬුවමින් ගැලවීමේ අරමුණින් සිදු කළ එකක් බවට අධිකරණය සිය තීන්දුව මගින් පෙන්වා දී තිබිණි. මරණකාරිය අධ්‍යාපන කටයුතුවලට විශේෂ දක්ෂතාවයක් දැක්වූ අයකු වුවත් විශ්වවිද්‍යාලයට ඇතුළත් නොවි පොලිස් දෙපාර්තමේන්තුවට බැඳුනේ උසස් අධ්‍යාපනය ලබන බාල සහෝදරියගේ හා සහෝදරයාගේ වගකීම මෙන්ම පියා අහිමි පවුලේ නඩත්තුව පිළිබඳ වගකීම සිය කැමැත්තෙන්ම භාරගෙන බව මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවට බැඳීමට පෙර කුලියට ගඩොල් කැපීම පවා සිදුකර සිය මව ඇතුළු සහෝදරයන් දෙදෙනාගේ කුසගින්න නිවීමට ඇය උත්සාහ දැරූ බවත් නඩු විභාගයේදී අනාවරණය විය. නීතිඥ ප්‍රදීප් ජයකොඩි මහතා අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටිමින් මූලික විමර්ශන කළ කොටුව පොලිසිය එකී විත්තිකරුට අධිකරණය විසින් ඇප ලබාදෙන අවස්ථාවේදී විදේශ ගමන් තහනමක් ලබා ගැනීමට නිසි පියවර නොගැනීම නිසා විත්තිකරුට අධිකරණය මගහැර පළායෑමට ඉඩකඩ විවර වූ බව කියා සිටියේය.
@දිවයින
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

