Latestදේශීය

ශ්‍රී ලංකාවේ ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (2026–2030) ජනපතිට

ශ්‍රී ලංකා ආර්ථික සංවර්ධනයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 2026–2030 කාලසීමාව සඳහා වන ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත භාර දෙන ලදී

2026–2030 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) යනු 2025 අයවැය යටතේ ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්තිමය මඟපෙන්වීමට අනුකූලව, රටේ අපනයන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සහ අපනයනය මූලික කර ගත් තිරසර ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීම අරමුණු කර ගනිමින් සකස් කරන ලද ප්‍රධාන ජාතික වැඩසටහනකි.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ මඟපෙන්වීම සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) නායකත්වය යටතේ, ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ප්‍රතිපත්ති පාදක ණය (PBL) වැඩසටහන මගින් ලබා දුන් තාක්ෂණික සහාය ඇතිව මෙම උපායමාර්ගික සැලැස්ම සකස් කර ඇත. මෙම සැලැස්ම රජයේ ප්‍රධාන ආයතන, පෞද්ගලික අංශයේ පාර්ශ්වකරුවන් සහ සංවර්ධන හවුල්කරුවන් සමඟ සමීපව සහයෝගයෙන් සිදු කරන ලද පුළුල් උපදේශන ක්‍රියාවලියක ප්‍රතිඵලයකි.

මෙම ‘ශ්‍රී ලංකා ජාතික අපනයන සංවර්ධන සැලැස්ම 2026-2030’ ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධනය සහ ප්‍රවර්ධනය සඳහා වූ නිල උපායමාර්ගික රාමුව ලෙස පිළිගැනීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව 2026 මැයි 4වන දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. රජයේ ආයතන, පෞද්ගලික අංශයේ විශේෂඥයන් සහ ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන්ගේ පොදු එකඟතාවෙන් මෙම සැලැස්ම සකස් වී ඇත.

‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ යන ජාතික දැක්ම අනුව, ශ්‍රී ලංකාවේ අපනයන තරගකාරිත්වය ඉහළ නැංවීමට සහ 2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 36ක අපනයන ආදායම් ඉලක්කයක් සපුරා ගැනීම සඳහා මෙම සැලැස්ම සකස් කර තිබේ.

ශ්‍රී ලංකාව කලාපීය සහ ගෝලීය වෙළෙඳපොළ සඳහා සේවය සපයන තරගකාරී සැපයුම් දාම (Logistics) සහ දැනුම පදනම් කර ගත් අපනයන මධ්‍යස්ථානයක් බවට පත් කිරීම මෙහි ප්‍රධාන දැක්මයි. මෙම උපායමාර්ගික සැලැස්ම ‘තිරස් අංශ’ (Horizontals) සහ ‘ප්‍රමුඛතා අංශ’ (Verticals) යන එකිනෙක හා සම්බන්ධ වන ප්‍රධාන කුලුනු දෙක මත පදනම් වී ඇති අතර, එමගින් ශ්‍රී ලංකාවේ අපනයන තරගකාරීත්වය ශක්තිමත් කිරීම, විවිධාංගීකරණය සහ තිරසාර වර්ධනයට අවශ්‍ය පදනම සැකසේ.

සියලු ප්‍රමුඛතා අංශවල වර්ධනයට සහ ව්‍යාප්තියට සහාය වීම සඳහා අවශ්‍ය පදනම සපයන තිරස් අංශ (Horizontals) අතරට වෙළෙඳ සැපයුම් (Logistics) සහ ඒකාබද්ධ මධ්‍යස්ථාන මෙහෙයුම්, වෙළෙඳ පහසුකම් සැලසීම, වෙළෙඳ මූල්‍ය සහ ව්‍යාපාරික හා ආයෝජන පරිසරයන්හි ප්‍රතිසංස්කරණ, වෙළෙඳ ප්‍රවර්ධනය සහ වෙළෙඳපොළ සබඳතා, ගුණාත්මක කළමනාකරණය, ප්‍රමිති, පාරිසරික, සමාජීය සහ පාලන (ESG) නිපුණතා සංවර්ධනය, ව්‍යවසායකත්වය සහ නවෝත්පාදනය අයත් වේ.

අපනයන විවිධාංගීකරණය සහ අගය එකතු කරන ලද නිෂ්පාදනය ඉහළ නැංවීමද, ගෝලීය වෙළෙඳපොළෙහි ශ්‍රී ලංකාව වඩාත් තරගකාරී ලෙස ස්ථානගත කිරීම සඳහා මෝටර් රථ උපාංග, ඛනිජ පදනම් කර ගත් කර්මාන්ත, රබර් ආශ්‍රිත කර්මාන්ත, සමුද්‍රීය කර්මාන්ත (බෝට්ටු සහ නැව් තැනීම ඇතුළුව), කුළුබඩු සහ සාන්ද්‍රණ, ඩිජිටල් නිෂ්පාදන සහ සේවා, විදුලි හා විද්‍යුත් උපාංග, සැකසූ ආහාරපාන වර්ග යන ප්‍රමුඛ අපනයන අංශ අටක් (08) හඳුනාගෙන තිබේ.

මෙම ජාතික සැලැස්ම සකස් කිරීමේදී රජයේ ආයතන, පෞද්ගලික අංශය, සිවිල් සංවිධාන සහ ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන් ඇතුළු 300කට අධික පිරිසකගේ දායකත්වය ලබාගෙන ඇත. 2025 ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා පැවැති සාකච්ඡා සහ 2026 ජනවාරි මාසයේ පැවති වැඩමුළු මගින් මේ සඳහා පුළුල් වූ පොදු එකඟතාවකට එළඹ තිබේ.

ශක්තිමත් පාලන සහ අධීක්ෂණ රාමුවක සහාය සහිතව මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරීම තුළින්, දේශීය නිෂ්පාදන ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ඔසවා තැබීමටත්, රටේ දිගුකාලීන ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සහතික කිරීමටත් රජය අපේක්ෂා කරයි. මෙම ජාතික අපනයන සංවර්ධන සැලැස්ම ශ්‍රී ලංකා ආර්ථිකයේ නව පෙරගමන්කරු ලෙස ඉදිරියේදී ක්‍රියා කරනු ඇත.

කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් රසල් අපෝන්සු, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *