71 සහෝදරයන්ට මමත් උදව් කළා – චන්ද්‍රිකා කියයි
වර්තමානයේ අප ජීවත් වන්නේ සහෝදරයන්ගේ යුගයක බවත්, 1971 දී මෙරට තරුණයන් පිරිසක් විප්ලවයක් කළ අවස්ථාවේ තමන්ද ඔවුන්ට සහාය දුන් බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කළාය.
ඇය මේ බව කියා සිටියේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පසුගිය 18දා පැවැති, මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතාගේ ‘මා කෙසේ පවසම්’ නමැති කවි පොතේ පුනර් මුද්‍රණය දොරට වැඩීමේ උත්සවයට සහභාගි වෙමිනි.
මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා 1971 කැරැල්ලේ විත්තිකරුවකු ලෙස බන්ධනාගාරගතව සිටියදී මීට වසර 50කට පෙර මේ කවි පොත රචනා කර තිබේ.
එකල තමන් වාමාංශික හා රැඩිකල් විප්ලවවාදී අදහස් දැරූ තරුණියක වූ බව සිහිපත් කළ හිටපු ජනාධිපතිනිය, මහාචාර්ය කුමාරි ජයවර්ධන මහත්මියගේ නිවෙසේ පැවැති දේශපාලන සාකච්ඡාවලදී ජයදේව උයන්ගොඩ වැනි ප්රගතිශීලී උගත් තරුණයන් හමුවූ බව පැවසුවාය.
සෝවියට් දේශය බිඳ වැටීමට සහ චීනය විවෘත ආර්ථිකය වැලඳ ගැනීමට පෙර පැවති එම අවධිය බොහෝ තරුණයන් රැඩිකල් විප්ලවයක් කෙරෙහි විශ්වාසය තැබූ කාලයක් වූ බවද ඇය පෙන්වා දුන්නාය.
සිරිමාවෝ බණ්ඩාරනායක රජයට එරෙහිව දේශපාලන වෙනසක් සඳහා කැරලි ගැසූ තැනැත්තකු සිරගතව සිටියදී ලියූ කවි පොතක් එළිදැක්වීමේ අවස්ථාවක එම අගමැතිනියගේ දියණිය ලෙස අදහස් දැක්වීමට ලැබීම ආශ්චර්යවත් සිද්ධියක් බව ඇය මෙහිදී සඳහන් කළාය.
ප්‍රතිවිරුද්ධ දේශපාලන මත දැරූවන්ට පසුව පොදු අරමුණක් වෙනුවෙන් සහයෝගයෙන් කටයුතු කිරීමට හැකිවීම මෙරට දේශපාලන සංස්කෘතියේ සුවිශේෂී ලක්ෂණයක් බවද ඇය කියා සිටියාය.
තමාද ප්‍රතිවිරුද්ධ දේශපාලන අදහස් දැක්වූවන් සමඟ සහයෝගී දේශපාලනයක යෙදුණු බව අතීත සිද්ධියක් විස්තර කරමින් කියා සිටියාය.
71 කැරැල්ල පරාජය වීමෙන් පසු අත්අඩංගුවට ගත් තරුණයන්ට එල්ල වූ වධහිංසාවන්ට විරෝධය දැක්වීම සඳහා තමන් ප්‍රංශයේ සිට හා සිය සොහොයුරිය වන සුනේත්‍රා බණ්ඩාරනායක එංගලන්තයේ සිට මැදිහත් වූ ආකාරයද හිටපු ජනාධිපතිනිය මෙහිදී අනාවරණය කළාය.
තමන් ඇතුළු මාක්ස්වාදී මත දැරූ සරසවි සිසුන් පිරිසක් අගමැතිනිය වෙත ඉදිරිපත් කිරීමට පෙත්සමක් සකස් කළ බවත්, කැරැලිකරුවන්ගේ අරමුණ රට විනාශ කිරීම නොව යහපත් හෙට දවසක් සඳහා වූ උතුම් අරමුණක් බැවින් ඔවුන්ට වධහිංසා නොකොට නීත්‍යනුකූලව කටයුතු කරන ලෙස ඉල්ලා සිටි බවත් ඇය පැවසුවාය.
මේ පෙත්සමට තමන් ප්‍රථමයෙන් අත්සන් තැබූ අතර ප්‍රංශයේ සිටි ප්‍රසිද්ධ දාර්ශනිකයන් වූ ශොන් පොල් ශාස්ත්රේගේ සහ සීමොන්ද බෝවාගේ අත්සන් ලබා ගැනීමට තමන් සමත් වූ බව ඇය සඳහන් කළාය.
පෙත්සමේ තොරතුරු ලේක්හවුස් ආයතනය මගින් ප්‍රසිද්ධ කරන ‘ඔබ්සවර්’ පුවත්පතෙන් දැකගත් සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය, තම දියණිය මෙවැනි දෙයක් කරනු ඇතැයි බලාපොරොත්තු නොවූ බවට ලිපියකින් දන්වා එවූ බව හිටපු ජනාධිපතිනිය සිහිපත් කළාය.
මෙවැනි මැදිහත්වීම් හරහා ජවිපෙ තරුණයන්ගේ ජීවිත බේරා ගැනීමට හැකි වූ බවත්, කරුණාවන්ත තැනැත්තියක වූ තම මව අවසානයේදී සහනශීලී පිළිවෙතක් අනුගමනය කළ බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.
මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා මෙරට දේශපාලන සහ සමාජ සංවාදයට ලබාදුන් සුවිශාල දායකත්වය අගය කරමින් හිටපු ජනාධිපතිනිය සිය කතාව නිම කළාය. මහාචාර්ය සරත් විජේසූරිය මහතා Òසිරකරු විලාපයේ ආත්මාපදානය, කාව්යාලංනකාරය සහ දේශපාලනයÓ මැයෙන් දේශනයක් පැවැත්වූ අතර කර්තෘවරයා හා මහාචාර්ය සසංක පෙරේරා සහභාගි වූ කෘතියේ පසුබිම විස්තර කෙරෙන සංවාදයක්ද සිදුවිය. 71 කැරැල්ලට සම්බන්ධ වූ තැනැත්තන්, විශ්වවිද්‍යාල ආචාර්යවරු, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

