‘දරුවන්ගේ නිවාඩුව දරුවන්ට දෙන්න’ – අගමැති හරිනි
දරුවන්ගේ මනසටත් නිදහසක් අවශ්‍ය බැවින් නිවාඩුකාලය දරුවන්ට ලබා දෙන ලෙසත්, දරුවන් ගැවසෙන සෑම පද්ධතියකම දරුවා ආරක්ෂා වෙන වැඩපිළිවෙලක් තිබිය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
ස්ත්‍රීන්, තරුණ සහ ළමයින් සේවයෙහි යෙදවීමේ සංශෝධන පනත් කෙටුම්පත දෙවෙනිවර කියවීමේ විවාදයට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
අපේ ප්‍රතිපත්ති ප්රකාශනය තුළ ළමා ආරක්ෂණය කියන එක පිළිබඳව අපි පුළුල් අර්ථකථනයක් දීලා තියෙනවා අපේ මූලික අරමුණ වෙලා තියෙන්නේ ළමාරක්ෂණය කියන එක තුළ ළමුන්ගේ අනාරක්ෂිතභාවය සිද්ධවෙන හෝ අනාරක්ෂිත භාවයට තුඩුදෙන කොන්දේසි සහ තත්ත්වයන් වෙනස් කිරීම සඳහා පුළුල් මැදිහත්වීම් ගණනාවක් අපි යෝජනා කරලා තියෙනවා. ඒ අනුව තමයි මේ නීතිමය සංශෝධන සිදුවෙන්නේ.
උදාහරණයක් හැටියට දරුවන් කියන නිර්වචනය විවිධ අවස්ථාවල අවුරුදු 17, 15, සමහර නීති වල අවුරුද 16 සමහර නීතිවල 18 වැනි පරස්පරතා තිබුණා. ළමා ආරක්ෂණය පිළිබඳ නීති තුළ හිඩැස් ගණනාවක් තිබුණා. ඒ හිඩැස් වහලා, දරුවන්ට පුළුල් ආරක්ෂාවක් ලබාදීම සඳහා පියවර ගන්නත්, ළමයින් අනාරක්ෂිත වෙන තත්ත්වයන් වෙනස් කිරීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න අපේ රජය මේ වෙනකොටත් මැදිහත් වෙනවා.
අපේ රටේ අනිවාර්ය අධ්‍යාපනය කියලා අපි අවුරුදු 16ක් කියන එක දැන් නීතිගතවෙලා තියෙනවා. අපි දැකලා තියෙනවා දැන් පාසල් තුළ දරුවෙක් රඳවා ගැනීම යම්කිසි විදියකට අභියෝගයක් බවට පත් වෙමින් යනවා. විශේෂයෙන් පිරිම් දරුවන් අවුරුදු 16න් පස්සේ අධ්‍යාපනය තුළ රැඳෙන ප්‍රමාණය අඩු වෙන ප්‍රවණතාවයක් තිබෙනවා. අවුරුදු 13ක අධ්‍යාපන කාලය දරුවන්ට නොලැබීම තුළින් ඔවුන් සමාජයට එකතු වුණාම ඔවුන්ට වෙන්න පුළුවන් හානි සහ අවදානම් තත්ත්වයන් තියනවා. විෂමාචාරවලට යොමු වෙන අවස්ථා තියනවා. රැකියා ක්ෂේත්රයට සම්බන්ධ වෙනකොට අවශ්‍ය කුසලතා qualifications නැතිවීම තුළ ඔවුන් සමහර අවස්ථාවලට නීති විරෝධී වැඩ වලට පෙළඹවීම හෝ පොළඹවා ගැනීම වැනි දේවල් සිදුවෙනවා. එවැනි දේවල්වලටත් ආමන්ත්‍රණය කිරීම ඇතුළු ඒ සියල්ලම සලකා බලා තමයි අපි 2026 සිට ක්‍රියාත්මක වෙන අධ්‍යාපන ප්රතිසංස්කරණවලත් මූලික අරමුණක් ලෙස අවුරුදු 13ම දරුවෙක් පාසල් අධ්‍යාපනය තුළ රඳවා ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පාසල් පරිසරයක් නිර්මාණය කරමින් තිබෙන්නේ.
මේ වසරේ අපි පළවෙනි ශ්‍රේණියට අලුත් විෂය මාලාව හඳුන්වා දීලා තියෙනවා. 2027 දෙවැනි වසරටත්, 6 වෙනි වසරටත් හදුන්වාදෙන්න අපි කටයුතු කරගෙන යනවා. අලුත් විෂය මාලාව හඳුන්වා දෙන්නත්, ඊට එහා ගිය ඒ පාසල සුරක්ෂිත කිරීම සඳහාත් අපි මැදිහත්වීම් ගණනාවක් කරනවා. උදාහරණයක් හැටියට ප්‍රාථමික අධ්‍යාපනයේ යටිතල පහසුකම් නවීකරණය කිරීම සඳහා අපි 2026 තුළ මිලියන 1900 ක් වෙන් කරලා තියෙනවා තියෙනවා. ඒ හරහා තෝරගත්ත පාසල් නවීකරණය කරන්නත්, ඒ පාසල් දරුවන්ට සුදුසු පරිදි යටිතල පහසුකම් සකස් කිරීමත් අපි ආරම්භ කරලා තියෙනවා.
සමාජයීය හා පවුල් පසුබිම් වල තියෙන ගැටළු නිසා දරුවන්ට විවිධ මනෝ සමාජීය ප්‍රශ්න වලට අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන බව අපි නිරීක්ෂණය කරලා තියනවා. ඒවා කතා කරන්න, විසඳගන්න ඔවුන්ට අවස්ථා නැති වීම තුළින් ඔවුන්ගේ මානසික සෞඛ්‍ය බාධා වගේම යහපත් මානසික සෞඛ්‍යයක් පවත්වාගෙන යෑමට තියන අභියෝග සහ ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යන්න අපහසු අවස්ථා අපිට වාර්තා වෙලා තියෙනවා
ඒ නිසාම තමයි අපි පාසල් පද්ධතිය තුළ දරුවන්ගේ මනෝ සමාජයීය යහපැවැත්ම දියුණු කිරීම සඳහා අපි නියම ව්‍යාපෘතියක් 2025 ආරම්භ කළේ. දැන් එක 2026 සිට ක්‍රියාත්මක කරන්න පටන් අරගෙන තියෙනවා. C2 centers කියලා. සෑම පාසලකම අපි මේක සංවිධානය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සෙන්ටර්ස් වල ළමුන්ට සමානව උපදේශනය වගේම ඔවුන්ට ඇවිල්ලා තමන්ගේ ප්‍රශ්නයක් කතා කරන්න එහෙම නැත්නම් නිදහසේ පොඩි වෙලාවක් ගත කරන්න විවේක ගන්න එහෙම නැත්නම් ඇවිල්ලා රැකවරණය ලබාගන්න අවකාශයක් හදන කටයුත්තත් අපි ආරම්භ කරලා තියෙනවා. මේ නියමු ව්‍යාපෘතිය ඉතාමත්ම සාර්ථකයි කියලා වාර්තා වෙලා තියෙනවා. අපි ස්තුතිවන්ත වෙනවා ඇත්තටම ගුරුවරුන්ගෙන් අපිට මේකට ලැබුණු ඒ සහයෝගයට. ඔවුන් ඉතා උනන්දුවෙන් මේ වැඩේ සඳහා සහභාගී වෙලා තියෙනවා.ඒ සඳහා අපි ගුරු පුහුණුවත් ආරම්භ කරලා තියනවා.
ළමාරක්ෂණය කියන එක අධ්‍යාපනය හෝ එක ක්ෂේත්රයකට සීමා වෙන දෙයක් නෙවෙයි. ඒනිසා ළමයා ගැවසෙන සැම පද්ධතියක් තුළම ආරක්ෂාව වැඩි කිරීම සඳහා විවිධ පියවර අපි ගනිමින් ඉන්නවා. පෙර පාසල් අධ්‍යාපනය තුළ අපි දැවැන්ත වෙනසක් මේ වෙලාවේ සිදු කරමින් යනවා. අවුරුදු තුනත්, පහත් අතර ලැබෙන ඒ අධ්‍යාපනය තීරණාත්මක බව සියලු දෙනාම පිළිගන්න එකක්. ඒ නිසාම තමයි පෙර පාසල් අධ්‍යාපනය විෂමාලා පිළිබඳ ප්‍රතිපත්ති රාමුවක් වගේම ගුරුවරුන්ට අත්පොතක් අපි නිකුත් කරලා තියෙන්නේ. ඒ ගුරු අත්පොත සමග පෙර පාසැල් ගුරුවරුන් පුහුණු කිරීම මේ සතිය ආරම්භ කරන්නත් ලබන අවුරුද්දේ සියලුම පෙර පාසල් තුල ඒ විෂය මාලාව ක්‍රියාත්මක කරන්නත් බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම තමයි අපි පෝෂණය පැත්තෙන් දරුවන්ගේ ආරක්ෂාව ගැන හිතලා දරුවන්ට ලැබිය යුතු ඒ පෝෂණීය ආහාර පිළිබඳ නිර්දේශ නිකුත් කරලා තියෙනවා. දිය යුතු නොදිය යුතු ආහාර පිළිබඳ ලැයිස්තුවක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කරලා තියෙනවා අපි මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය හැටියටත් පසු විපරමක් කරනවා. පාසල් දරුවන් ප්‍රවාහනය තුළ දරුවන්ගේ ආරක්ෂාවත් අතිශයින්ම වැදගත්. ඒ නිසා පාසල් දරුවන් ප්‍රවාහනය කරන රථ නියාමනය කිරීම සඳහාත් ප්‍රවාහන අමාත්‍යංශය කොන්දේසි ගණනාවක් නිකුත් කරලා තියනවා. අපි ඉල්ලා සිටිනවා සියලුම දෙමව්පියන්ගේ මේවා ගැන දැනුවත් වෙන්න ඒ ගැන සොයා බලන්න කියලා.
අවසාන වශයෙන් නැවත වතාවක් දෙමව්පියන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් කරන ඉල්ලීම තමයි මේ දවස්වල පාසල් දරුවන්ට නිවාඩු කාලය, දරුවන්ටත් නිවාඩුවක් අවශ්‍යයි. විශේෂයෙන්ම විදුහල්පතිවරු ගුරුවරු තමන්ගේ පාසල සුපිරි පාසලක් කරන්න ඕන එකට අපි ගරු කරනවා. හැබැයි දරුවන්ට නිවාඩුවකුත් අවශ්‍යයි. ඒ හින්දා තමා අපි නිවාඩු දෙන්නේ. දරුවනගේ මනසට නිදහසක් අවශයයි. ඒ නිසා මේ නිවාඩු කාලයේ ඕනවට වඩා දරුවන්ගේ මනසට වැඩ පටවන්න එපා කියලා මම ඉල්ලා සිටිනවා යැයි අග්‍රාමාත්‍යතුමිය පැවසුවාය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

