Latestදේශීය

ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

ජාතියේ යශෝරාවය ලෙස විරුදාවලිය ලත් ප්‍රවීණ ගායන ශිල්පිනි ආචාර්ය නන්දා මාලිනී මහත්මිය සිය දිවි සැරිය නිම කළාය.

දශක හතකට ආසන්න කාලයක් මෙරට ගීත සාහිත්‍යයේ නොමැකෙන සලකුණක් තැබූ ඇය සිය 83 වැනි උපන්දිනයට දින තුනක් තිබියදී මෙසේ අභාවප්‍රාප්ත විය.

1943 අගෝස්තු 23 දා අලුත්ගම, ලෙවන්දූව ප්‍රදේශයේ උපත ලද නන්දා මාලිනී මහත්මිය කුඩා කළ සිටම ගායන හැකියාවන් ප්‍රදර්ශනය කළාය.

නව යොවුන් වියේදී කොටහේන ශ්‍රී ගුණානන්ද විද්‍යාලයට ඇතුළත්ව අධ්‍යාපන ලබන සමයේදී ටී.එන්. මාග්‍රට් පෙරේරා ගුරුවරියගේ මඟ පෙන්වීම මත ශ්‍රී ලංකා ගුවන් විදුලියේ විකාශය වූ කරුණාරත්න අබේසේකරයන්ගේ ළමා මණ්ඩපය වැඩසටහනට එක්ව ‘බුදු සාදූ‘ ගීතය ගායනා කරමින් සංගීත ක්ෂේත්‍රයට එක් වූවාය. 1961දී ශ්‍රී ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටය වූ රන්මුතු දූව වෙනුවෙන් නාරද දිසාසේකර සමඟ ‘ගලන ගඟකි ජීවිතේ‘ ගීතය ගයමින් චිත්‍රපට පසුබිම් ගායනයට පිවිසි ඇය ඉන්දියාවේ භාත්ඛණ්ඩේ සංගීත විද්‍යාපීඨයෙන් විශාරද උපාධිය ලබාගත්තාය. සත්‍යයේ ගීතය’, ‘පවන’, ‘හේමන්තයේදී’, ‘පෙම්බර ලංකා’ වැනි ප්‍රසංග සහ කුඩා දරුවන් උදෙසා ‘සින්දු හෝඩිය‘ වැනි අමරණීය නිර්මාණ දැයට දායාද කළාය.

හොඳම ගායිකාවට හිමි සරසවිය සම්මාන 12ක් සහ ජනාධිපති සම්මාන 10ක් ඇතුළුව දේශීය හා විදේශීය සම්මාන ගණනාවකින් ඇගේ ගායන කෞශල්‍යය ඇගයීමට ලක් කෙරිණි.

සමාජ අසාධාරණයට එරෙහිව ගීත ගායනා කිරීම නිසා වරෙක ඇගේ ගීත ගුවන් විදුලියෙන්ද වාරණයට ලක්විය. 88-89 කාල පරාසයේදී සත්‍යයේ ගීතය, සහ පවන ගී ප්‍රසංග මෙරට ජන සමාජය තුළ ඉමහත් ආන්දෝලනයට ලක්වූ අතර පීඩිත ජන සමාජය තුළ ඉමහත් ප්‍රසිද්ධියට ද පත්විය. එම ගීත ගායන කිරීම නිසා එවකට පැවති පාලන තන්ත්‍රයෙන් ඇයට ජීවිත තර්ජන පවා එල්ල විය. ඇයගේ දේහය අද (21) සිකුරාදා උදෑසන 10.30 සිට හෙට (22) සෙනසුරාදා පස්වරු 3.30 දක්වා අංක 30, විජයබා මාවතේ පිහිටි නන්දා මාලනී සංගීත ආශ්‍රමයේ තැන්පත් කර තැබෙනු ඇත. සවස 3.30 ට දේහය රැගත් රථ පෙහහැර බොරැල්ල ආදාහනාගාරය දක්වා ගමන් කරන අතර සවස 5.00ට අවසන් කටයුතු සිදු කෙරේ. ඇය වෙනුවෙන් කිසිදු අවමංගල සභාවක් නොපැවැත්වෙන බව වාර්තා වේ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *