Latestනවතම ලිපිවිදේශීය

ජාත්‍යන්තර නීති නොතකා අල් ෂිෆා රෝහල අපායක් කරන ඊශ්‍රායලය

ගාසා තීරය උතුරු කොටසේ ගාසා නගරයේ පිහිටි අල් ෂිෆා රෝහලේ තුන් වැනි දිනටත් ප්‍රහාරක සහ සෝදිසි මෙහෙයුම් සිදු කරන ඊශ්‍රායල හමුදා, රෝහල් පරිශ්‍රයේ තිබූ හමාස් උමං පිවිසුමක් සොයාගත් බව ප්‍රකාශ කළේය.

අල් ෂිෆා රෝහල පිටත එළිමහනේ පිහිටි උමං පිවිසුමක් දැක්වෙන වීඩියෝවක් ඊශ්‍රායල හමුදාව විසින් නිකුත් කර තිබූ අතර, එසැණින් එය තහවුරු කළ නොහැකි බව රොයිටර්ස් පුවත් සේවය සඳහන් කරයි.

උමං දොර දර්ශනය වූ ස්ථානයේ කැණීමක් සිදු කර ඇති ආකාරයක් ද දර්ශනය වී ඇති අතර, එහි කොන්ක්‍රීට්, ලී සහ වැලි සහිත අබලි ද්‍රව්‍ය විසිරී තිබූ බවත්, පසුබිමේ බුල්ඩෝසරයක් දක්නට ලැබෙන බවත් රොයිටර්ස් වාර්තා කළේය.

අවි ආයුධ විශාල සංඛ්‍යාවක් සහිත වාහනයක් ද රෝහල් පරිශ්‍රයේ තිබී හමු වූ බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර ඇත.

කෙසේ නමුත් හමාස් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, අල් ෂිෆා රෝහල සිය සන්නද්ධ මෙහෙයුම් සඳහා යොදාගත් බව ඔප්පු කිරීමට ඊශ්‍රායලය ව්‍යාජ තොරතුරු හා ඉතා දුර්වල තර්ක ඉදිරිපත් කරන බවයි. 

අල් ෂිෆා රෝහල සම්බන්ධයෙන් තම බුද්ධි අංශවල තොරතුරු පිළිබඳ විශ්වාසයක් පවතින බව අමෙරිකාව ප්‍රකාශ සඳහන් කර තිබේ.

එහෙත් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරිපත් කිරීම හෝ පැහැදිලි කිරීම ධවල මන්දිර ප්‍රකාශක ජෝන් කර්බි ප්‍රතික්ෂේප කර ඇත.

මේ අතර, අමෙරිකානු CBS රූපවාහිනී සේවාව සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කළේ, ගාසා තීරයේ සිවිල් වැසියන්ට සිදු වන හානි අවම කිරීම සඳහා තමන් දැරූ උත්සාහයන් සාර්ථක නොවූ බවයි.

එමෙන්ම සිවිල් වැසියන්ට ආරක්ෂිත ස්ථාන කරා යාම සඳහා හමාස් සංවිධානය විසින් ඉඩ නොදෙන බවට ද ඔහු චෝදනා කළේය. 

ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාරවලින් ගාසා තීරයේ දහස් සංඛ්‍යාත ජනයා මියයද්දී ඊශ්‍රායලයට වෛර කරන තවත් පරම්පරාවක් බිහි වනවා නේ දැයි ඔහුට යොමු වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ගාසා තීරයේ පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය එහි සිදු වන මරණ පසුගිය දින කිහිපය තුළ යාවත්කාලීන නොකළ අතර, අවසන් වරට නිකුත් කළ දත්තවලට අනුව පසුගිය මාසයක පමණ කාලය තුළ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් ගාසා තීරයේ පලස්තීනුවන් 11,470ක් මිය ගොස් ඇති අතර, ඉන් 4,500කට වැඩි සංඛ්‍යාවක් ළමුන් වේ.

මේ අතර, ඊශ්‍රායල හමුදාව විසින් ගාසා තීරයේ උතුරේ ජනතාවට පිට ව යන ලෙස දැනුම් දුන් අතර, දකුණු දිග ගාසා තීරයේ නගර කිහිපයකින් ද ඉවත් වන ලෙස පත්‍රිකා හෙළා තිබේ.

විශේෂයෙන් ඛාන් යුනිස් නගරය කේන්ද්‍ර කොටගත් ප්‍රදේශ 04කින් ඉවත් වන ලෙස ඊශ්‍රායලය දන්වා ඇත. 

මෙම ප්‍රදේශ මීට පෙර ආරක්ෂිත ප්‍රදේශ ලෙස හඳුන්වා තිබූ අතර, දැන් ගාසා තීරයේ කිසිදු ස්ථානයක් ආරක්ෂිත නොවන බව එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයා විසින් ද ප්‍රකාශ කර තිබේ.

ගාසා තීරයේ සන්නිවේදනය පවත්වාගෙන යන විදුලි සංදේශ සමාගම් දෙක ප්‍රකාශ කළේ, ඉන්ධන සැපයුම් නොලැබීම නිසා සිය මෙහෙයුම් සියල්ල මේ වනවිට ඇණහිට ඇති බවයි. 

හමාස් සංවිධානය විසින් භාවිත කරනු ඇතැයි පවසමින් ගාසා තීරයට ඉන්ධන රැගෙන ඒමට ඊශ්‍රායලය අවසර ලබා දෙන්නේ නැත.

සන්නිවේදනය ඇණහිටීම සහ ඉන්ධන නොමැති වීම නිසා සිය මානුෂීය ආධාර මෙහෙයුම් ගාසා තීරය තුළ තවදුරටත් ක්‍රියාත්මක කළ නොහැකි බව එක්සත් ජාතීන් ගේ පලස්තීන මානුෂීය සම්බන්ධීකරණ කාර්යාලය ප්‍රකාශ කරයි.

ගාසා තීරයේ ඉන්දුනීසියානු රෝහල ද මේ වන විට මුළුමණින්ම අක්‍රිය වී ඇති අතර, මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් ප්‍රකාශ කළේ, සිය පදනම මඟින් ගාසා තීරයේ ඉදි කළ භෞත චිකිත්සක මධ්‍යස්ථාන දෙක ද ඊශ්‍රායල ප්‍රහාරවලින් විනාශ වී ඇති බවයි. 

අල් ෂිෆා රෝහලේ ප්‍රතිකාර කිරීමේ පහසුකම්වලට ද ඊශ්‍රායල හමුදා හානි සිදු කර ඇති බව වාර්තා වන අතර, එහි තුන් වැනි රැයටත් ප්‍රහාර දියත් වෙද්දී කාන්තාවන්, ළමුන්, රෝගීන් ඇතුළු දහස් සංඛ්‍යාත පිරිසක් මරණීය අවදානමකට ලක්වන බව ගාසා තීරයේ සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

ඊශ්‍රායල හමුදා අල් ෂිෆා රෝහලේ සිදු කරන මෙහෙයුම් ලොව පුරා ඉමහත් ආන්දෝලනයක් සහ කම්පාවක් ඇති කර ඇති අතර, එය හමාස් මෙහෙයුම් මූලස්ථානය බව තහවුරු කිරීමට ඔවුන් මෙතෙක් සමත් වී නැත.

හියුමස් රයිට්ස් වොච් ආයතනය ප්‍රකාශ කළේ, රෝහල් යනු, ජාත්‍යන්තර මානුෂීය නීතිය යටතේ විශේෂ රැකවරණයක් සහිත ස්ථානයන් වන බවයි. 

ඊශ්‍රායලයේ සංචාරයක නිරත යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී ජෝසප් බොරෙල් ඊශ්‍රායල විදේශ අමාත්‍ය ‘එලි කොහෙන්’ හමු වූ අවස්ථාවේ පවසා ඇත්තේ, හමාස් ප්‍රහාරයෙන් ඊශ්‍රායලයට ඇති වූ ප්‍රකෝපය වටහා ගත හැකි වුවත් එයින් උදහස් වී කටයුතු නොකළ යුතු බවයි. 

එහෙත් ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා ගාසා තීරයේ පලස්තීනුවන් දැන් මුහුණ දෙන ඛේදනීය තත්ත්වය සම්බන්ධයෙන් ද චෝදනා කර ඇත්තේ, හමාස් සංවිධානයටයි.

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?