Latestදේශීය

ගොවි ලේකම්ගේ සිරුර කිඹුලෙක් බුදිමින් සිටියදී සොයාගනී

දින දෙකකට පෙර මාළු ඇල්ලීමට ඇළට ගොස් අතුරුදන්ව සිටි මතුගම කොලැහැකඩ ගොවි සංවිධානයේ ලේකම්වරයාගේ සිරුර කිඹුලකු විසින් බුදිමින් සිටියදී වැලිපැන්න පොලිසියේ නිලධාරීන් ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව කිඹුලා එළවා මෘත ශරීරයේ කොටස් ගොඩ ගෙන ඇත.

ගොවි සංවිධානයේ ලේකම්වරයා අතුරුදන් වූ ඇළ මාර්ගයේ සිට කිලෝමීටර් 5කට වැඩි දුරකින් පිහිටි ඇළ මාර්ගයකදී මෙම කිඹුලා විසින් බුදිමින් සිටියදී දින දෙකකට පසු මෙලෙස සොයා ගැනීමට හැකිවූ බවද වැලිපැන්න පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ පල්ලෙගොඩ, වළගෙදර පදිංචිව සිටි කාලිංග චන්ද්‍රදාස නොහොත් මාරිංග චන්ද්‍රදාස නම් 69 හැවිරිදි එක්දරු පියෙකි.

මියගිය අයගේ බිරිඳ වන මාලනී සුරවීර යන අය විසින් තම සැමියා මාළු බෑමට ගොස් සිටියදී අතුරුදන් වී ඇති බවත්, ඔහුව කිඹුලෙකු ඩැහැගෙන යන්නට ඇතැයි සැක කරන බවත් වැලිපැන්න පොලිසියට දැනුම් දී තිබිණි.

වැලිපැන්න, මූනමල්වත්ත ප්‍රදේශයෙන් ගලා බසින බෙන්තර ගඟේ අතු ගංගාවේ මේ වනවිට කිඹුලන් විශාල ප්‍රමාණයක් සිටීම හේතුවෙන් එම කිඹුලන් වලගෙදර කදුරුවත්ත ඇළ මාර්ගයෙන් වළගෙදර හේන්පිට කොලැහැකඩ ප්‍රදේශවලට පැමිණ ඇති බවත් මේ වන විට එම ප්‍රදේශයේ ඇළ මාර්ගවල සහ දෙපා ඇළවල්වල දැඩි කිඹුල් ගහනයක් පවතින බැවින් මියගිය අය එම ප්‍රදේශයේ දෙපා ඇළක මාළු බාමින් සිටියදී මෙසේ කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් ඇති බවත් ප්‍රදේශවාසීහු පවසති.

මියගිය අයගේ ඥාතීන්, මතුගම ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරී ගයනා වීරක්කොඩි මහත්මිය ඇතුළු ගොවි සංවිධාන සාමාජිකයන් සහ ප්‍රදේශවාසීන්ගේ උත්සාහයෙන් දින දෙකකට පසුව බෝට්ටුවක් කුලියට ගෙන කදුරුවත්ත ඇළේ පරීක්ෂා කිරීමේදී කිඹුලා ඩැහැගත් ස්ථානයේ සිට කිලෝමීටර් 5ෙක පමණ දුරක තිබී දේහය සොයාගෙන ඇත.

අනතුරුව වැලිපැන්න හදිසි මරණ පරීක්ෂක නිහාල් ජයනෙත්ති මහතා සමඟ වැලිපැන්න පොලිසියේ නිලධාරීන් ඇතුළු පිරිස එම ස්ථානයට ගොස් ඒ වනවිටත් මෘත ශරීරයේ කොටස් බුදිමින් සිටි කිඹුලා එළවා දේහය ගල්මත්ත ප්‍රදේශයට රැගෙන ඇති අතර ඒ වනවිට මෘත දේහයේ හිස සහ පපුව කොටස් පමණක් ඉතිරිව තිබී ඇති බවට වාර්තා විනි.

අනතුරුව වැලිපැන්න හදිසි මරණ පරීක්ෂකවරයාගේ නියෝගය මත මෘත දේහය අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා නාගොඩ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර ඇති අතර අධිකරණ වෛද්‍ය පරීක්ෂණය පැවැත්වූ නාගොඩ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී එස්.එස්.අත්තනායක මහතා විසින් මෙම මරණය කිඹුලකු විසින් ඩැහැගෙන ගොස් ශරීරයේ කොටස් කා දමා විනාශ කිරීම සහ දියේ ගිලීම නිසා සිදුවූ මරණයක් බවට තීරණය ලබාදී ඇත.

දේහය පිළිබඳව හදිසි මරණ පරීක්ෂණය පැවැත්වූ මරණ පරීක්ෂකවරයා සඳහන් කර සිටියේ, මෑත කාලයේ මූනමල්වත්ත ගඟ ආශ්‍රිතව සිදුවූ තුන්වන මරණය මෙය අතර, මෙය ඉතාම අවාසනාවත්ත තත්ත්වයක් බවත්, මේ වනවිට වැලිපැන්න පොලිස් වසමේ ගඟ ආශ්‍රිත බොහෝ ප්‍රදේශවල ජනතාවට තම දෛනික ජීවන කටයුතු සිදුකිරීමට නොහැකි වී ඇති බවත් ය.

එබැවින් මේ පිළිබඳව අදාළ බලධාරීන්ගේ අවධානය ඉක්මනින් යොමුවිය යුතු බවද හදිසි මරණ පරීක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ පිළිබඳව වලගෙදර ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය කාරක සභාවේ සභාපති සිසිර කුමාර මහතා පැවසුවේ මෙම කිඹුල් අවදානම නිසා අදාළ ප්‍රදේශවල කුඹුරු ඉඩම් අක්කර 700 – 800ක පමණ ප්‍රමාණයක කුඹුරු වගා කිරීමට නොහැකි තත්ත්වයක් ගොවියන්ට ඇතිවී ඇති බවත් ඒ නිසා බලධාරීන්ගේ ඉක්මන් අවධානයන් යොමුකර කදුරුවත්ත ඇලේ බෝක්කුවලට කිඹුලන්ට ගමන් කිරීමට නොහැකි වනසේ බාධක ගේට්ටු සවිකර දීමට කටයුතු කළ යුතු බවත්ය.

වැලිපැන්න පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමින්ද ද. සිල්වා මහතාගේ උපදෙස් අනුව අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මුණසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පො.සැ.(73159) කසුන්, පො.කො. (96295) ගාමිණී, පොලිස් කොස්තාපල් (55293) උපාලි ඇතුළු නිලධාරීන් පරීක්ෂණ කටයුතු සිදුකළහ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *